Monday, November 19, 2012

......නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද.......

කලින් පොස්ට් එකෙන් කියන්න ඕන දේ හරියට කියවුනේ නෑ කියල හිතුන නිසා මේක ලිව්වේ..

1978 විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටට ආපු දේවල් වලින් ගාමන්ට්ස් එහෙමත් නැත්තන් ඇඟලුම් කම්හල් වලට ලැබෙන්නේ විශේෂ තැනක්.. ඒත් ඒ ඇඟලුම් කම්හල් වලට ලැබෙන විශේෂ තැනඒවායේ වැඩ කරන සේවිකාවන්ට නොලැබෙන්නේ ඇයි කියන්න හරියටම හේතුවක් මම දන්නේ නෑ.. 

ඒත් මේ තත්ත්වය ඇති වෙන්න බලපාලා තියෙන්නේ දුප්පත්කම දරා ගන්න බැරි වීම නිසා අසරණ වෙලා මුදලට විකිණෙන ඇතැම් සොහොයුරියන්ගේ ක්‍රියාකලාපය සහ ගම්බද සිට එන අහිංසක අසරණ තරුණියන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න ඇතැම් දුර්ජන පිරිමි නිසා කියල මම හිතනවා.

කොහොම වුනත් සමාජ විමර්ශන කරනවා යැයි මහා ලොකුවට කියා ගන්නා මාධ්‍ය සහඇතැම් ව්‍යපාරිකයන් විසින් අපේ සමාජයට ඔබ්බවන්න හදන්නේ මේ සහෝදරියන් ලාභ බඩු කියන සංකල්පය. 


උන්ගේ ඒ උත්සාහය යම් තාක් දුරට සාර්ථක වේගෙන එන බවක් දැන් පේන්න තියෙනවා.. මොකද ගාමන්ට් කෙල්ලෙක් කියපු ගමන් කුණු සිතුවිලි හිතනගාමන්ට් එකක වැඩ කරනවා කියල කටක් ඇරලා කියන්නත් ලජ්ජා හිතන පරිසරයක් දැනටම නිර්මාණය වේගෙන එන නිසා..

සමහරුන්ට මෙහෙම ප්‍රශ්නයක් රටේ නෑ කියල හිතන්න පුළුවන්. එහෙම අය මෙතනින් එහාට මේ ලිපිය කියවන්න ඕන නෑ... මොකද මම මේ දේවල් කියන්නේ මම අහපුදැකපු ඒවා නිසා.. මේවා ඔප්පු කරන්න මට ඕන නෑ..



ඉතින් මම අද කතා කරන්න හිතුවේ එයාල ගැන ලියවුන ගීතයක් ගැන..
ගාමන්ට් සොහොයුරියන් ගැන ලියවුන ගීත බොහොමයක් තියෙනවා..

1.
සප්ත සයුරින් එහා -----------වික්ටර් රත්නායක
2.
නිල් මහනෙල් බරයි කියා ---දීපිකා ප්‍රියදර්ශනී
3.
රෑ වැඩමුරය අවසන් වන -----සුනිල් එදිරිසිංහ
4.
කටුනායක ඇඳුම් මහන ------මංජුලා දිල්රුක්ෂි
5.
සුකොමල දෑතින්(made in sri lanka) ---- භාතිය සන්තුෂ්
6.
නේක වර්ණ ------------------නිරෝෂා විරාජිනී (මම හිතන හැටියට )
7.
නැගණියේ -------------------- රූකාන්ත ගුණතිලක


මීට අමතරව තව සින්දු ඇති ඒත් මට මතක් වෙන්නේ ඔච්චරයි..මේ සින්දු අතරින් මම දෙවැනියට සඳහන් කරපු සින්දුව ගැන මම පොඩ්ඩක් කතා කරන්න හිතුවේගාමන්ට් සහෝදරියකගේ ජීවිතය ගැන ඒ සින්දුවෙන් හොඳටම විවරණය වෙනව කියල මට හිතුන නිසා..

මේ සින්දුව ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසිංහයන්.. සංගීත නිර්මාණය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහතා..


නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද
කෝල කොමළ නංගියේ නුඹ අතට ගත්ත මහබර කන්ද
අදහන්නට පුලුවන්ද ....


නිල් මහනෙල් මල් පැළඳීම ඇල් සුළඟේ සිසිල විඳීම විදියට මේ කියලා තියෙන්නේ ජීවිතයේ සතුට විඳ ගන්න එක වෙන්න ඕන ..
එයා ඒ සතුට නොවිඳ ඉන්නේ එහෙම ඉන්න ආසා නිසා නෙවේ...පවුලේ බර කරට ගැනීමේදී ඒ වෙනුවෙන් කිරීමට සිදුවන කැපකිරීමක් කරන්න වෙන නිසා ..
සාමාන්‍යයෙන් පවුලේ කෙනෙක් පවුලේ සාමාජිකයන් වෙනුවෙන් කැපකිරීමක් කරනකොට ඒකට පැහැදිලි හේතුවක් කියන්න අසමත් ..

(
ඒ සඳහා සරළම උදාහරණය අපේ පවුල් වලින්ම ගන්න පුළුවන්..අම්මා කෙනෙක් සහ පුතෙක්ට,ඉතා රසවත් කේක් කෑල්ලක් දුන්නම අම්මා කියනවා "මම කේක් කන්නේ නෑ පුතේපුතා කන්න කියලා.. පුතාගේ සතුට වෙනුවෙන් අම්මා කේක් කෑල්ල පුතාට දෙන්නේ තමන් කේක් කන්න අකැමති නිසා පුතාට ඒක දෙන විදියට.. ඒත් අම්මා යටි හිතෙන් බලාපොරොත්තු වෙන්නේ පුතාගේ සතුට.)


ඒ විදියටම තමයි මහා බරක් නැති නිල් මහනෙල්බරයි කියා නොපැළඳ ඉන්නවා ,ඇල් සුළඟ රළුයි කියා සිසිල නොවිඳ ඉන්නවා කියලා පවුලේ අය වෙනුවෙන් තමන් කරන කැප කිරීම කැමැත්තෙන් ම කරන එකක් විදියට පෙන්නන්න මේ යුවතියන් උත්සාහ කරනව කියල තමයි මේ කියන්නේ...

දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...


දුඹුලු (පුස් ) බැඳුනු ඉරහඳ දෙක ලෙස හඳුන්වල තියෙන්නේ වයස්ගත වූ දෙමව්පියන් ..
දෙමව්පියන්ට පවුලේ ආර්ථිකය තව දුරටත් දායක වෙන්න බැරි වෙලා කියන එක තමයි "දුඹුලු බැඳී "කියල අදහස් කරනවා ඇත්තේ..


රන් තරු කැට කියල අදහස් කරන්නේ දරුවන් ව ..
අකුරු බැරිව යන්නෙන් දරුවන්ට නිසි අධ්‍යාපනයක් නොලැබීම සහ නිසි අධ්‍යාපනයක් ලබා දීමට ඇයට ඇති අපහසුව ගැන කියනවා ..


සාමාන්‍යයෙන් මේ යුවතියන් දිනකට පැය 10 ක් විතර රස්සාව කරනවා . ඉතින් දරුවන් ගැන හොයා බලන්න තියෙන්නේ බොහොම පොඩි වෙලාවයි...
මේ ඇයට තමන්ගේ ළමයින්ට ආදරය සෙනෙහසරැකවරණය නිසි පරිදි ලබා දෙන්න රැකියාව කරනවාටත් වඩා වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා ..
ඒත් බලන්න... මේ තරු කැට නිකන්ම තරු කැට නොවේ.. රන් තරු කැට..
මොනවා වුනත් ඇය විසින් හැකි සෑමවිටම දරුවන්ව ආදරයෙන්රැකවරණය දී බලා ගන්නා බව (රන් සේ ) තමයි ඒ කියන්නේ..


ගින්නකින් දුමක් නගිනකොට ඈත ඉන්න එවුන්ට වුනත් පේනවා..
එහෙත් මේ අයගේ ගෙවල්වල තියෙන්නේ දුම් නොනගින ගිනි කියල තමයි සින්දුවේ තියෙන්නේ.


මුළුතැන් ගෙයි ඇවිලෙන ගින්දර විදියට මේ හඳුන්වන්නේ ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්න.
ඒත් ඒ ගිනි දුම් නොනගින ඒවාලු නේ.. ඒකෙන් අදහස් කරන්නේ අයට මොවුන්ගේ ආර්ථික ප්‍රශ්න නොපෙන්වා සිටීමට ඇය දරන වෑයම...
ඉතින් මේ දුම් නොනගින ගින්න නිවන ඇයට වඩා සුන්දර කවියක් තියෙන්න පුලුවන්ද??


තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..


ඉඳිකටු තබන්නේ මැෂිමේ හෝ දෑතේ මිසක් දෙතොලේ නෙමෙයි. සාමාන්‍යයෙන් කෙල්ලෝ කියන්නේ සෑහෙන්න කතා කරන ,අනං මනං දොඩවන අය නේ..
ඒත් මේ අයට කාලය හා රැකියාව නිසා මේ මුඛරිකම අමතක වෙලා ගිහිල්ලා .. වෙන විදියකට කියනවා නම් දොඩමලු තාරුණ්‍යය අද මේ ඉඳිකටුව නිසා නිහඬ වෙලා..
ඉතිරි වෙලා තියෙන්නේ මිහිරි හිනාව විතරයි.


මේ රැකියාවෙන් ඔවුන්ට පුළුවන් යන්තම් ගෙදරට අත්වැල සපයා ගන්න විතරයි ..


ඒත් හෙලන දාඩිය සහ ශ්‍රමය නිසා වැජඹෙන්නේ එයාල නෙවෙයි...
පිට රටවල රැව් දෙන්නේ එයාලගේ නම නෙවෙයි..
made in sri lanka 
යන නාමයෙන් උපහාරය පිදෙන්නේ එයාලට නොවේ..


සමහර විට මේ ගීතයේ සමහර තැන්වල මීට වඩා වෙනස් තේරුම් ඇති. මේ කිව්වේ මට හිතුන දේ..

මීට අමතරව පද වැල් අතින් සලකා බලනකොට රෑ වැඩ මුරය අවසන් වන කණිසමට සින්දුවත්කටුනායක ඇඳුම් මහන අපේ නංගිට සින්දුවත් ගොඩක් හොඳයි කියල මම හිතනවා..


ඉතින් අපි කරන්න ඕන කියල මම යෝජනා කරන්නේ මේ විදේශ විනිමය ඉපයීමට දායක වෙනපවුල් සංස්ථාවේ සතුට වෙනුවෙන් කැප වෙන මේ දිරිය යුවතියන්ට අනුකම්පා කිරීම නෙමෙයි.. 
එයාලට හිමිවෙන්න ඕන ගෞරවය නිසි පරිදි ලබා දෙන එක.
සින්දුව අහනවා නම් මෙන්න ලින්ක් එක..

http://www.youtube.com/watch?v=yNHZR4lGlKc


නිල් මහනෙල් බරයි කියා ගෙලේ නොබැන්ද...
ඇල් සුළඟත් රළුයි කියා සිසිල නොවින්ද.
කෝල කොමල නංගියෙ නුඹ අතට ගත්ත මහ බර කන්ද
අදහන්නට පුළුවන්ද...


දුඹුලු බැඳී ඉර හඳ දෙක
අකුරු බැරිව රන් තරු කැට
මුළුතැන් ගෙයි ඇවිලෙන දුම් නොනගින ගින්දර
නිවූ නුඹට වඩා කුමන කවියද සුන්දර...


තබා දෙතොල ඉඳික‍ටු තුඩ
මිහිරි සිනා විකසිත කළ
නූල් පටින් නුඹ තැනුවේ ගෙදරට අත්වැල..
වාන් දැමූ පට්ටන්දර අද පරසක්වළ..


ගායනය : දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය
පද රචනය : රත්න ශ්‍රී විජේසිංහ මහතා
සංගීතය : රෝහණ වීරසිංහ මහතා